...

Tourism News

විදේශ ආයෝජකයෙකුට සංචාරක කටයුත්තක් සඳහා ඉඩම් බදුදීම වලකාලමින් ලංකා රියල්ටි ලෙෂර් ආයෝජන සමාගම ඉල්ලා සිටි අතුරු තහනම් නියෝගය ගරු අධිකරණය ප්‍රතික්ෂේප කරයි

August 06, 2020

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව අතුරු තහනම් නියෝග දෙකක් ඉල්ලා ලංකා රියල්ටි ලෙෂර් ආයෝජන සමාගම අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය. වඩාත් බරපතළ වූ පළමු අතුරු තහනම් නියෝගය හරහා ඔවුන් ඉල්ලා සිටියේ සංචාරක සංවර්ධන අධිකාරිය මගින් යාල සංචාරක කලාපයේ පිහිටි ප්‍රශ්නගත ඉඩමෙහි භුක්තිය නැවත පවරාගැනීම, එහි සංවර්ධන කටයුතු කෙරෙහි මැදිහත් වීම සහ අදාළ ඉඩම සම්බන්ධයෙන් තෙවැනි පාර්ශවයක් සමග ගිවිසුමගතවීම වළක්වාලන ලෙසයි. දෙවනුව ඔවුන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ලංකා රියල්ටි ලෙෂර් අතර ඇතිකරගෙන තිබූ බදු ගිවිසුම අවසන් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ  ලේඛන (P12, P13, P22) අනුව ක්‍රියා කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් අයදුම් කර තිබිණි.

කොළඹ දිසා අධිකරණය විසින් ඉහත සංචාරක සංවර්ධන අධිකාරිය මගින් යාල සංචාරක කලාපයේ පිහිටි ප්‍රශ්නගත ඉඩමෙහි භුක්තිය නැවත පවරාගැනීම, සහ අදාළ ඉඩම නව ආයෝජකයකු වෙත ලබාදීම වළක්වාලන ලෙස ඉල්ලා සිටි පළමු අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. 

එසේ වුවද, දිසා අධිකරණය විසින් දෙවැනි අතුරු තහනම් නියෝගය, එනම් ඉදිරිපත් කර තිබූ  ලේඛන (P12, P13, P22) අනුව ක්‍රියා කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කර ඇත. එයට පදනම් වී ඇත්තේ බදු ගිවිසුම අවලංගු කිරීම සඳහා යොමු කර තිබූ ලිපි, ගිවිසුමෙහි අදාළ ඡේද කෙරෙහි යොමුව සඳහන් කර නොමැති වීම නිසා තාක්ෂණික ගැටළුවක් පැවතීමයි.

අධිකරණය විසින් ඉහත ප්‍රථම අතුරු තහනම් නියෝගය ප්‍රතික්ෂේප කිරීමත් සමග ඉඩමේ භුක්තිය නැවත භාර ගැනීමටත්, සංවර්ධන කටයුතු සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අවස්ථාව සැළසේ.

අධිකරණය සිය 2020 අගෝස්තු 4 නියෝගය මගින්, 2018 අප්‍රේල් දක්වාත් ලංකා රියල්ටි ලෙෂර් අදාළ ඉදිකිරීම් ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බවත්, අනෙකුත් සමාගම් මෙන් එවැනි අවස්ථාවක් යටතේ කාල දිගුවක් ඉල්ලා ඇති බව සනාථ කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඇතැම් සමාගම් දැනටමත් සාර්ථක ලෙස වාණිජ මෙහෙයුම් සිදුකරන බවත් යන්න අවධානයට ලක් කොට ඇත.

එසේම, 2019 වසරේ ජූලි මාසයේදී ලංකා රියල්ටි ලෙෂර් සමාගමේ අක්‍රිය භාවය පදනම් කරගනිමින් ඔවුන් භූමියෙන් ඉවත් කිරීමටත්, අදාළ ඉඩම ඇ. ඩොලර් මිලියන 15ක ආයෝජනයක් සමග විදේශීය ආයෝජකයකුට ලබා දීම සඳහාත් ශ්‍රී ලංකා රජය අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගෙන ඇත. එසේ වුවද, ලංකා රියල්ටි ලෙෂර් සමාගම මෙම සංවර්ධන කටයුත්තට බාධා පමුණුවමින් තව දුරටත් එම භූමියේ රැඳී සිටින බවද අධිකරණ කටයුතු හරහා අනාවරණය විය.

මෙම ගැටළුව වඩා හොඳින් අවබෝධ කරගැනීම සඳහා මෙය ගැඹුරින් අධ්‍යයනය කිරීම වටී. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2014 වසරේදී ආයෝජකයන් කිහිප දෙනකුට පරිසර හිතකාමී සංචාරක හෝටල් සංවර්ධනය සඳහා යාල, පලටුපාන සංචාරක කලාපයෙන් අක්කර 7 බැගින් වූ ඉඩම් කොටස් ලබා දීමට ගිවිසුගත විය. මෙම ආයෝජකයන් අතර ඇස්කොට් ලෙෂර් (පසුව ලංකා රියල්ටි ලෙෂර්), උගා රිසෝර්ට්ස් සහ ඩිල්මාද විය. මේ අතරින් උගා සහ ඩිල්මා පිළිවෙලින් 2016 සහ 2017 දී සාර්ථක ලෙස වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත. ඇස්කොට් ලෙෂර් (පසුව ලංකා රියල්ටි ලෙෂර්) හැර අනෙකුත් සියළුම ආයෝජකයන් මේ වන විට සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත. 

ඇස්කොට් ලෙෂර් වෙත ලබා දී තිබූ ඉඩමෙහි කිසිදු සංවර්ධන කාර්යයක් ආරම්භ නොවීම නිසා බදු ගිවිසුමෙහි කොන්දේසි කඩ කිරීම මත එම ගිවිසුම අවලංගු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය 2018 ජූලි මස 7 වැනි දින තීරණය කරන ලදී.

අනතුරුව 2019 අගෝස්තු 6 වැනි දින අදාළ D නැමැති ඉඩම් කට්ටිය නව විදේශීය ආයෝජකයකු වන, එක් රාත්‍රියකට ඇ.ඩො. 3000 පමණ අය කරමින් නැගෙනහිර අප්‍රිකාවේ සාර්ථක සුඛෝපභෝගී සෆාරි හෝටලයක් පවත්වාගෙන යනු ලබන වන් නේචර් හෝටල් සමාගමට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.

ඇස්කොට් ලෙෂර් බදු ගිවිසුම අවලංගු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය කෙරෙහි බලපෑ මූලික කාරණය ආයෝජකයා විසින් ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමයි. ගිවිසුම පරිදි 2018 අප්‍රේල් මස වන විට වාණිජ කටයුතු අරඹනවා තබා ඇස්කොට් ලෙෂර් ඉදිකිරීම් ආරම්භ කර හෝ නොමැති බවත්, අනෙකුත් සමාගම් මෙන් ඒ සඳහා කාල දිගුවක් ඉල්ලා ඇති බව සනාථ කිරීමට අපොහොසත් වී ඇති බවත්  අධිකරණය හඳුනාගෙන ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය විසින් ඇස්කොට් ලෙෂර් සමාගම බදු ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම සැළකිල්ලට ගනිමින්, අදාළ බදු ගිවිසුම අවලංගු කිරීමටත්, එම ඉඩම නව ආයෝජකයකුට ලබා දීමටත් තීරණය කර ඇති නමුදු, වසරකටත් වැඩි කාලයක් එම ආයෝජකයාට සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා ඉඩම ලබාදීමට හැකිවී නොමැත.

වර්තමාන සභාපතිනිය සිය සැමියාට අයුතු ලාභයක් ලබාදීම සඳහා අනීතික ලෙස ඇස්කොට් ලෙෂර් බදු ගිවිසුම අවලංගුකොට අදාළ ඉඩම වෙනත් ආයෝජකයකුට ලබා දීමට උත්සාහ කරනනේ යැයි පැමිණිලිකාර පාර්ශවය චෝදනා කොට තිබිණි. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වෙත නගන මෙම චෝදනා පදනම් විරහිත බවත්, ඇය අධිකාරියේ රාජකාරි ආරම්භ කර ඇත්තේ 2019 දෙසැම්බර් 20 හෙවත් ඉහත කාරණය පිළිබඳ සියළු තීන්දු තීරණ ගැනීමෙන් අනතුරුව, ඉඩම වන් නේචර් සමාගම වෙත තීන්දු කිරීමෙන්ද පසුව බවත් අධිකරණයේ අවධානයට යොමුවී ඇත.

මෙම සිද්ධිය පිළිබඳ අදහස් දක්වන සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය "බදු ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම සැළකිල්ලට ගනිමින් ඇස්කොට් ලෙෂර් බදු ගිවිසුම අවලංගු කිරීමටත්, එම ඉඩම විදේශ ආයෝජකයකුට ලබා දීමටත් තීරණය කර ඇත්තේ මා සංචාරක සංවර්ධන අධිකාරියේ රාජකාරි ආරම්භ කිරීමට පෙරය. පෙර කී සියලු තීරණ ගෙන ඇත්තේ පෙර පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය විසිනි. මගේ පවුල සහ ඩිල්මා සමාගම ද්වේශ සහගත ලෙස මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති මෙම කාරණයට සම්බන්ධ කරමින් මා වෙත බලපෑම් එල්ල කිරීම ඉහත ගෙන ඇති තීරණ ආපසු හරවාගැනීමට දරන වෑයමක් ලෙස මම දකිමි. මෙම නඩු කටයුත්ත ඇරඹීමත් සමගම මගේ පවුලේත්, සැමියාගේ සහ ඔහුගේ ව්‍යාපාරයන්හි කීර්ති නාමයන්ට දැඩි ලෙස හානි කරමින් කිසිදු පදනමකින් තොරව සිදුකරන මෙම මඩගැසීම මම මහත් පිළිකුළෙන් හෙලා දකිමි. මෙලෙස අවසාන වශයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇති ලිපියක මා එම ඉඩම ඩිල්මා සමාගමට නොමිළේ ලබා දී ඇති බවට චෝදනා කර ඇත. අනෙකුත් සියලුම ආයෝජකයන් මෙන්ම ඩිල්මා සමාගමද සමාන කොන්දේසි යටතේ ඔවුන්ට ලබා දුන් ඉඩම් කොටස ලබාගෙන ඇත්තේ 2014 වසරේදීය. අගෝස්තු 4 වැනි දින ප්‍රකාශයට පත්කළ අධිකරණ නියෝගයේදීද හඳුනාගෙන ඇති පරිදි මෙහි සියලු තීරණ ගෙන ඇත්තේ පෙර පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය විසිනි මම මෙම තනතුරට පත්වීමට බොහෝ කලකට පෙරය."

ඉදිරිපත් කර තිබූ ලේඛන (P12, P13, P22) අනුව ක්‍රියා කිරීම වළකාලමින් අධිකරණය නිකුත් කළ නියෝගය පිළිබඳ අදහස් දැක්වූ සභාපතිනිය "ඉහත දක්වා ඇති P12, P13 ලිපි නිකුත් කරඇත්තේද මගේ පත්වීමට පෙරාතුව" බව පැවසුවාය. එසේම තවදුරටත් සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාවරය වන්නේ මෙම කාරණය සම්බන්ධ සියලු තීරණ වලට එළඹුනේ නීතියට අනුකූලව හා බදු ගිවිසුම අනුව අක්‍රිය වීම යන පදනම මත විනා, ඉහත ලේඛන මත පදනම්ව නොවන බවයි.

එසේම අධිකරණය විසින් සංචාරක සංවර්ධන අධිකාරියට අදාළ ඉඩමේ භුක්තිය භාර ගැනීමට, සංවර්ධන කාර්යයට මැදිහත්වීමට හෝ තෙවැනි පාර්ශවයක් සමග අදාළ ඉඩම පිළිබඳව බැඳීමක් ඇතිකර ගැනීමට කවර ආකාරයකින් හෝ අවහිරයක් ඇති කර නොමැති බව මෙහිදී විශේෂයෙන් අවධානයට ලක් කිරීම වටී.

තවද, සංචාරක කර්මාන්තයට එළැඹීමට බලාපොරොත්තුවෙන් සිටින්නා වූ පෞද්ගලික පාර්ශවයක්, අධ්‍යක්ෂ මණ්ඩලයේ හා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව, නෛතිකව ගන්නා ලද ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන්, මෙලෙස එම කර්මාන්තයේ නියාමන අධිකාරිය හා එහි නිලධාරීන් අපකීර්තියට පත්කිරීමටත්, ඒ හරහා රජය අපකීර්තියට පත්කිරීමටත් ගන්නා නින්දිත උත්සාහයත්, ඒ හරහා තමන්ගේ අඩුපාඩු හා අසමත්කම් වසාගැනීමට දරන අසාර්ථක උත්සාහයත් දැඩි පිළිකුලෙන් හෙලාදකිමු.